බැසිල් රාජපක්ෂට අයත් බව කියන මල්වානේ ඉඩමට නීත්‍යානුකූල හිමිකරුවෙකු නොමැති තත්ත්වයක් මතු වෙයි (VIDEO) - SANDHA HIRU NEWS

Breaking

Saturday, September 24, 2016

බැසිල් රාජපක්ෂට අයත් බව කියන මල්වානේ ඉඩමට නීත්‍යානුකූල හිමිකරුවෙකු නොමැති තත්ත්වයක් මතු වෙයි (VIDEO)

බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වානේ ඉඩම සම්බන්ධයෙන් ද නීත්‍යානුකූල හිමිකරුවෙකු නොමැති තත්ත්වයක් මතු වෙමින් තිබේ.
මල්වානේ පිහිටි අක්කර 16ක ඉඩම හා එහි ඉදිකර ඇති මන්දිරය සම්බන්ධයෙන් අද යළි ත් පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී කරුණු විමසා බැලිනි.
එහිදී මෙම ඉඩමේ හිමිකරු ලෙස සඳහන් වන මුදිත ජයකොඩි මහතා මෝසමක් ඉදිරිපත් කළ අතර අද ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
ජයකොඩි මහතා මෝසම මගින් දැනුම් දී තිබුණේ, මෙය තමන්ට අයත් මුදලින් මිලදී ගත් දේපළක් නොවන බැවින් ඒ සම්බන්ධයෙන් වගකීමක් ගත නොහැකි බව ය.
තමන්ට අයත් නොවන දේපළක ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව නොහැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නැයි මූල්‍ය අපරාධ කොට්ඨාසයට දන්වන ලෙස ඔහු ඉල්ලීමක් කළේ ය.
පූගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෝසම පිළිබඳව විමසා බැලීමෙන් පසුව එය දිසා විනිසුරුවරයාට යොමු කර තිබේ.
නමුත් මෙය මහේස්ත්‍රාත්වරයා හමුවේ සලකා බැලීම වඩා සුදුසු බැවින් ඔක්තෝබර් 4 වන දා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව යළි කැඳවීමට දිසා විනිසුරුවරයා නියෝග කළේ ය.
මේ අතර යෝෂිත රාජපක්ෂ මහතාට අයත් බව කියන ගල්කිස්ස මිහිදු මාවතේ පිහිටි පර්චස් 60ක ඉඩමේ මැනීම් කටයුතු ලබන 28 වන දා සිදු කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද නැවත නියෝග කළේ ය.
එම ඉඩමේ මැනීම් කටයුතු පසුගිය 20 වන දා සිදු කරන ලෙස අධිකරණය මිට පෙර දැනුම් දුන්න ද, යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණිය වන ඩෙසි ෆොරස්ට් මහත්මිය එදින නොපැමිණීම නිසා එය කල් දැමීමට සිදු විය.
ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත මෝසමක් ඉදිරිපත් කරමින් යෝෂිත රාජපක්ෂ මහතා කියා සිටියේ, පසුගිය 20 වන දින මහාධිකරණයේ නඩුවක් පැවති බැවින් පැමිණීමට නොහැකි වූ බව ය.
28 වන දා සහභාගී වීමට නොහැකි වුවහොත් නියෝජිතයෙකු හෝ සහභාගී කරවන බව රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ අධිකරණයට දැනුම් දුන්හ.
මේ අතර අධිකරණ භාරයට ගැනුණු සිය විදෙස් ගමන් බලපත්‍රය ලබා දෙන ලෙස යෝෂිත රාජපක්ෂ මහතා ගොනු කළ මෝසම අද යළි ත් කොළඹ මහාධිකරණයේදී විමසා බැලිනි.
ඒ පිළිබඳව තීරණය ලබා දීම සඳහා ලබන 28 වන දාට කරුණු දක්වන ලෙස නීතිපතිවරයාට හා රාජපක්ෂ මහතාගේ පාර්ශවයට අධිකරණය නියෝග කළේ ය.
මේ අතර නීත්‍යානුකූල නොවන අයුරින් වත්කම් ඉපැයීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද යළි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේ ය.
එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ තවමත් අවසන් වී නොමැති බැවින් ඊට විරුද්ධ වන බව ය.
නඩුව ලබන 27 වන දාට කල් තැබූ අධිකරණය හිටපු අමාත්‍යවරයා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළේ ය.

No comments: