ශ්‍රී ලංකාවට GSP+ සහනය යළි ලබාදීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීමට යුරෝපා සංගමයේ විදේශ කටයුතු මණ්ඩලය තීරණයකර තිබේ.
විදේශ කටයුතු මණ්ඩලය යුරෝපා කොමිසමට දන්වා ඇත්තේ, එම සහනය යළි ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහයවන ලෙසයි.
යුරෝපා සංගමයේ විදේශ කටයුතු මණ්ඩලය ඊයේ බ්‍රසල්ස් නුවරදී රැස්වූ අවස්ථාවේ ශ්‍රී ලංකාව පිළිබඳව වසර 6කට පමණ පසුව යළි සාකච්ඡා කර තිබේ.
එහිදී එළැඹි තීරණ පිළිබඳව දැනුම් දෙමින් නිකුත්කළ නිවේදනයේ දැක්වුණේ, ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදී යහපාලනය, ජාතික සංහිදියා ක්‍රියාවලිය, එක්සත් ජාතීන්ගේ පද්ධතිය හා ජාත්‍යන්තර ප්‍රජාව සමග යළි කටයුතු කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ය.
ඒ අනුව සංහිදියාව, යහපාලනය ශක්තිමත් කිරීම, දූෂණ මර්දනය, මානව හිමිකම් හා නීතියේ පාලනයට ගරු කිරීම ප්‍රවර්ධනය කිරීම මෙන්ම දුප්පත්කම තුරන්කරමින් ස්ථිරසාර සංවර්ධනයක් ලගාකර ගැනීම යන කරුණුවලට අදාළව යුරෝපා සංගමයට ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීමේ නව අවස්ථා උදාවී ඇතැයි එහි සඳහන්.
වගවීමේ ක්‍රියාවළියට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ග අගයකරන යුරෝපා සංගමයේ විදේශ කටයුතු මණ්ඩලය පැවසුවේ, අභ්‍යන්තර අවතැන්වූවන් සම්බන්ධයෙන් ක්රමාණුකූලව කල්පවත්නා විසදුමක් සෙවිය යුතු බව ය.
නව ව්‍යවස්ථාවක් ඇති කිරීමේ රජයේ සැලැස්ම පිළිබඳව ද ඊයේ සාකච්ඡාවේදී අවධානය යොමුකර තිබේ.
යුරෝපා සංගමයේ විදේශ කටයුතු මණ්ඩලය පවසන්නේ, මෙහිදී පුළුල් අභ්‍යන්තර සාකච්ඡාවක් තුළින් බහුතරයේ කැමැත්ත ඇතිව අවසන් යෝජනා සකස්විය යුතුව ඇති බව ය.
ජනතාව අතර විශ්වාසය ගොඩනැගීමේ පෙර පියවරක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින පිරිස් නීතිය හමුවට පැමිණවීම හා නිදහස් කිරීම කඩිනම් කිරීමට ශ්‍රී ලංකා රජය දිරිමත් කරන බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එහි දැක්වෙන්නේ, ආරක්ෂක අවශ්‍යතාවන් හඳුනාගනිමින් ඊට ගැලපෙන ආකාරයට හමුදා භටයන් හා කඳවුරු සංඛ්‍යාව තීරණය කිරීමත් හමුදාව රැඳී සිටින ඉඩම් එහි නීත්‍යානුකූල හිමිකරුවන්ට ලබාදීමටත් ශ්‍රී ලංකා රජය දිරිමත් කරන බව ය.
ධීවර කර්මාන්තය ආශ්‍රිතව යුරෝපා සංගමයේ නීතිවලට අනුකූලවීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පැසසුමට ලක්කර ඇති යුරෝපා සංගමයේ විදේශ කටයුතු මණ්ඩලය පවතින අඩුපාඩු මගහැරගත්විට මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන බව ද පැවසී ය.
No comments:
Post a Comment