තුර්කිය බිම හෙළූ රුසියානු යානයේ සිටි නියමුවාගේ සිරුර හමුවෙයි - SANDHA HIRU NEWS

Breaking

Monday, November 30, 2015

තුර්කිය බිම හෙළූ රුසියානු යානයේ සිටි නියමුවාගේ සිරුර හමුවෙයි

සිය ගුවන් සීමාව උල්ලංඝණය කළ බව පවසමින් තුර්කිය වෙඩි තබා බිම හෙළූ රුසියානු ගුවන් යානයේ සිටි නියමුවාගේ මළ සිරුර තුර්කි හමුදාව සොයා ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සිරියානු දේශ සීමාවේ තිබී අදාළ නියමුවාගේ සිරුර හමු වී ඇති බව ය.
මළ සිරුර තුර්කි හමුදා නිලධාරීන් විසින් රුසියානු නියෝජිතයින්ට භාරදීමට නියමිත බව තුර්කි අග්‍රාමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඓහතේ සිරුර භාර දෙන දිනය හෝ වේලාව පිළිබඳව තොරතුරු අනාවරණය කර නොමැත.
සිය ගුවන් කලාපය උල්ලංඝණය කළ බව පවසමින් පසුගිය අඟහරුවාදා තුර්කිය අදාළ රුසියානු යුද යානයට වෙඩි තබා එය බිම හෙළූ අතර එහි සිටි නියමුවන් දෙදෙනා පැරෂුට් ආධාරයෙන් යානයෙන් ඉවතට පැන තිබිණ.
කෙසේ වෙතත් මෙහිදී එක් නියමුවෙකුගේ ජීවිතය බේරුණු අතර ද අනෙක් නියමුවා ජීවිතක්ෂයට පත් විය.
කඳුකර ප්‍රදේශයකට පැන සිටි අදාළ නියමුවා ගලවා ගැනීම සඳහා පසුව මෙහෙයුමක් දියත් කළ අතර එහිදී මෙහෙයුමේ නිරතව සිටි හෙළිකොප්ටර් යානයකට කැරළිකරුවෝ ප්‍රහාරයක් එල්ල කළහ.
ප්‍රහාරයෙන් හෙළිකොප්ටර් යානයේ විනාශ වූ අතර එහි සිටි මරීන් සෙබළෙක් ද ජීවිතක්ෂයට පත් විය.
කෙසේ වෙතත් පැය 12ක පමණ මෙහෙයුමකින් පසුව අදාළ නියමුවාගේ දිවි බේරා ගැනීමට මෙහෙයුමේ නිරත වූවන්ට හැකි විය.
සිද්ධිය සම්බන්ධයෙන් රුසියාවෙන් මෙන් ම තුර්කියෙන් ද පරස්පර විරෝධි අදහස් ඉදිරිපත් වීමත් සමග දෙරට අතර මිතුදම පළුදු වන්නට විය.
විනාඩි 5ක කාලයක් තුළදී 10 වතාවක් අදාළ ප්‍රහාරක යානය සිය ගුවන් කලාපය උල්ලංඝණය කළ බව ත් ඒ සම්බන්ධයෙන් තුර්කිය අදාළ යානයට සිය ගුවන් සීමාවෙන් ඉවත් වන ලෙස කළ අනතුරු ඇගවීම්වලට රුසියානු යානය නිසි ලෙස ප්‍රතිචාර නොදැක්වූ බව ත් තුර්කිය පැවසී ය.
එහෙත් රුසියාව පැවසුවේ, තම යානය කිසි ලෙසකින් තුර්කි ගුවන් සීමාව උල්ලංඝණය නොකළ බව ය.
එමෙන් ම තුර්කිය එවැනි අනතුරු ඇඟවීමක් සිදු නොකළ බව යානයේ සිට දිවි බේරා ගත් නියමුවා ද පසුව පවසා තිබිණ.
ඊට ප්‍රතිචාර වශයෙන් පසුව තුර්කිය අදාළ යානය අනතුරු ඇඟවූ බව කියූ හඬ පටයක් ද මාධ්‍යට නිකුත් කළේ ය.
කෙසේ වෙතත් රුසියාව විසින් තුර්කියට ආර්ථික සම්බාධක පැනවීම දක්වා මේ වන විට දෙරටේ අර්බුදය උග්‍ර වී තිබේ.
පසුගිය ඉරිදා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් තුර්කියට එරෙහිව සම්බාධක පැනවීම සඳහා වන නියෝගයට අත්සන් තැබීය.
තුර්කිය සහ රුසියාව අතර ඉතා වැදගත් ආර්ථික සබඳතා පවතින අතර රුසියාව තුර්කියේ දෙවන විශාලතම වෙළෙඳ සගයා ද වේ.
වාර්ෂිකව තුර්කියට පැමිණෙන රුසියානු සංචාරකයින් සංඛ්‍යාව මිලියන තුනකි.
ලෝක දේශපාලනය උණුසුම් කරමින් හටගත් රුසියා – තුර්කි අර්බුදය සමථයකට පත්වන බවක් හෝ ඒ සඳහා කිසිවෙකු මැදිහත් වන ආකාරයක් හෝ පෙනෙන්නට නොමැත.

No comments: