නව රජයේ වැඩපිළිවෙළට ඔස්ට්‍රේලියානු සහ කැනඩා අගමැතිවරුන්ගේ ප්‍රසාදය - SANDHA HIRU NEWS

Breaking

Sunday, November 29, 2015

නව රජයේ වැඩපිළිවෙළට ඔස්ට්‍රේලියානු සහ කැනඩා අගමැතිවරුන්ගේ ප්‍රසාදය

ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව ගොඩනගමින් රට සංවර්ධනය කරා ගෙන යන නව රජයේ වැඩපිළිවෙළ ඔස්ට්‍රේලියානු හා කැනඩා අග්‍රාමාත්‍යවරුන්ගේ සැපසුමට ලක්ව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෝල්ටාහී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව කැනඩා සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළ බව ය.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා මෙම හමුවේදී අවධාරණය කර ඇත්තේ යුද්ධයෙන් පසුව සියලු ජනකොටස් අතර සාමය හා සංහිඳියාව ගොඩනැගීමට නව රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව තමන් ඉතා පැහැදිමෙන් සිටින බව ය.
මේ වනවිට ශ්‍රි ලංකාව තුළ සියලු ජාතින් අත්විදින මානසික නිදහස ද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව තිබේ.
මේ අතර කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදි ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රි ලංකාව සහ කැනඩාව අතර අතිතයේ සිට පැවති සබඳතා යම් අයුරකින් පළුදු වී ඇත්නම් එම සබඳතා නැවත ශක්තිමත් කිරිමට ප්‍රතිඥා දෙන බව ය.
නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වූ රට තුළ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සියලු සහාය ලබාදෙන බව ද කැනඩා අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදී ප්‍රකාශ කර තිබේ.
විශේෂයෙන් යුද සමයේ කැනඩාවට ගිය ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මේ අතර 24 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව අද අවසන් වේ.
පසුගිය සිකුරාදා මෝල්ටා රාජ්‍යෙය්දී මෙම සමුළුව ආරම්භ වූයේ බ්‍රිතාන්‍යෙය් දෙවන එළිසෙබත් මහරැජිනගේ ප්‍රධානත්වයෙනි.
අද සමුළුව අවසන් කරමින් ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කිරිමට නියමිත ය.
මේ අතර දේශගුණ විපර්යාස පිළිබද එක්සත් ජාතින්ගේ සමුළුවට සහභාගිවීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව යාමට නියමිත ය.
එම සමුළුව හෙට ආරම්භ වන අතර දේශගුණ විපර්යාස පිළිබඳව එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් 1992 වසරේදී ඇතිකර ගත් සම්මුතිය යටතේ පැවැත්වෙන 21 වන සමුළුව මෙය වේ.
ඊට රටවල් 80 ක රාජ්‍ය නායකයින් සහභාගී වේ.

No comments: