කුලියාපිටිය උසාවියෙන් ඓතිහාසික තීන්දුවක් ! ගුටි ඇණගත් පාසල් සිසුන් ප්‍රජා සේවයට !! - SANDHA HIRU NEWS

Breaking

Saturday, November 21, 2015

කුලියාපිටිය උසාවියෙන් ඓතිහාසික තීන්දුවක් ! ගුටි ඇණගත් පාසල් සිසුන් ප්‍රජා සේවයට !!

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය තුළදී තියුණු ආයුධ පවා භාවිතා කරමින් ගුටිබැට හුවමාරුකරගැනීම හේතුවෙන් අද දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි එම විද්‍යාලයේ උසස්පෙළ සිසුහු අටදෙනෙකු රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසට නියෝග කළ කුලියාපිටිය මහේස්ත‍්‍රාත් බන්ධුල ගුණරත්න මහතා එම සිසුන් තුළ පවතින ශරීර ශක්තිය ගුටි බැට ඇණගැනීම පිණිස නිකරුනේ වැයනොකර රටේ යහපත වෙනුවෙන් වැයකිරීමට අවස්ථාවක් ලබාදීම සදහා විත්තිකාර සිසුහු අටදෙනාම ප‍්‍රජා සේවයේ යොදවන ලෙසටද නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරීමෙන් අනතුරුව පොදු ස්ථාන පිරිසිදු කිරීම සදහා ප‍්‍රජා විශෝධන සේවය සදහා නියම කෙරුණේ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ 12 වැනි ‍ශ්‍රේණියෙහි ඉගෙනුම ලබමින් සිටින සිසුන් දෙදෙනෙකු හා 13 වැනි ‍ශ්‍රේණියෙහි ඉගෙනුම ලබමින් සිටින සිසුන් දහ දෙනෙකි.
කුලියාපිටිය පොලිසිය මගින් නිකුත්කර තිබූ නොතීසියකට අනුව අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිවරයා හා විනය භාර ආචාර්යවරයා ඇමැතූ මහේස්ත‍්‍රාත් බන්ධුල ගුණරත්න මහතා මෙවැනි සුඵ සිදුවීම් අධිකරණය දක්වා පැමිණීම වළක්වාගැනීම ඔවුන්ගේ වගකීමක් බවත්, අදාළ ගැටලුව නිරාකරණය කිරීම සදහා ඔවුන් විසින් ගත් විනය ක‍්‍රියාමාර්ග මොනවාදැයි විමසා සිටියේය.
පාසලේ විවේක කාලයේදී ඇති වූ මෙම ගැටුමෙන් තුවාල ලබා සිටි සිසුන් කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කළ බවත්, ඒ පිළිබදව ඔවුන්ගේ දෙමව්පියන්ට දැනුම්දීමට කටයුතු කළ බවද ඊට පිළිතුරු ලබාදුන් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිවරයා හා විනය භාර ආචාර්යවරයා එහිදී කීහ.
විත්තිකාර පාසල් සිසුන් වෙනුවෙන් අද දිනයේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥයින් විසින් මෙම දරුවන්ගෙන් වැඩි පිරිසක් මෙවර උසස්පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටින බවත්, මුල් සිදුවීම්වලදී මෙම ගැටුම මැඩලීමට පාසල විසින් පියවර ගත්තේ නම් මෙවැනි බරපතල තත්වයක් ඇති නොවීමට තිබූ බවත් පැවසූහ. ගැටුමට සම්බන්ධ සිසු දරුවන්ගේ දෙපාර්ශවයෙන්ම සමථයක් සදහා කැමැත්ත පළකර ඇති බැවින් සැකකාර සිසුන් ඇප මත මුදාහරින ලෙස ඔවුහු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
මේ අවස්ථාවේදී විත්තිකාර සිසුන්, විදුහල්පතිවරයා, විනයභාර ගුරවරයා සහ දෙමව්පියන් විවෘත අධිකරණය හමුවේ ඇමැතූ මහේස්ත‍්‍රාත් බන්ධුල ගුණරත්න මහතා මෙම සිදුවීම ඉතා අවාසනාවන්ත තත්වයක් බවත්, දෙමව්පියන් මෙම දරුවන් පිළිබදව දක්වා ඇති සැලකිල්ල පිළිබද සෑහීමට පත්විය නොහැකි බවත් පැවසීය. කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය වැනි පාසලකට සිසුන් ඇතුළත් කිරීම මහත් අසීරු කාර්යයක් වුවත්, මේ සිසුන්ට වෙත ලැබී ඇති එම මහගු අවස්ථාවෙන් නිසි ඵලයක් ලබන බවක් පෙනෙන්නට නොමැති බවද මහේස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් පැවසීය. අධිකරණයට පැවරී ඇති බලතල අනුව මෙවැනි පැමිණිලි සදහා ක‍්‍රියා කළහොත් එය මෙම සිසුන්ගේ අනාගතයට එය සෘජුවම බලපාන බවත්, එහි වගකීම මෙම සිසුන්ට මෙන්ම දෙමව්පියන් , ගුරුවරුන් ඇතුලු සියලුදෙනාටම පැවරෙන බවත් කී මහේස්ත‍්‍රාත්වරයා මෙවැනි හැසිරීම් මෙම විදුහල් නිර්මාණය කළ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මැතිතුමාගේ නාමයටත් කරන නින්දාවක් බවද පැවසීය.
එමෙන්ම ගුටිබැට හුවමාරු කරගැනීමට අවශ්‍යවන්නේ කාය ශක්තිය උරගා බැලීමට අවශ්‍ය නිසා බවත්, එලෙස නිකරුනේ වැය කරන එම ශරීර ශක්තිය රටේ යහපත වෙනුවෙන් යොදවන්නට හැකිදැයි සලකා බැලීම පිණිස ගැටුමට සම්බන්ධ සිසුන් අටදෙනාම විදුහල්පතිවරයාගේ එකගතාවයද මත පොදු ස්ථාන පිරිසිදු කිරීම සදහා ප‍්‍රජා විශෝධන ක‍්‍රියාවේ යොදවන ලෙසත් නියම කළේය. ‍ එය පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන ලෙස සිදුකිරීමට වගබලාගන්නා ලෙසටද මහේස්ත‍්‍රාත්වරයා විසින් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිවරයා වෙත වැඩිදුරටත් නියම කළේය.
කුලියාපිටිය පොලිස් නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බන්ධුල විජයලත් මහතා විසින් පැමිණිල්ල මෙහෙය වූ අතර නීතිඥවරුන් වන චම්පික ලසිතකුමාර, ආසිරි ප‍්‍රනාන්දු, උපුල් අලගියවන්න, අමිල කාරියවසම්, ජානක වත්තේගෙදර, අනුරසිරි දිසානායක, නාමල් ජගත් බණ්ඩාර යන මහත්වරුන් සැකකාර සිසුහු වෙනුවෙන් පෙනීසිටියහ.
මෙම නඩුව දෙසැම්බර් මස 04 වැනිදා කුලියාපිටිය ‍මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැදවීමට නියමිතය.

No comments: