එජාප ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක් -හරින් - SANDHA HIRU NEWS

Breaking

Monday, November 16, 2015

එජාප ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක් -හරින්

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක් ඇති බව තමාට හැඟෙන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි.
සංදේශය සමග සාකච්ඡාවකට එක් වෙමින් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා පැවසුවේ ආණ්ඩුවේ ඇතැම් බලවේග ක්‍රියා කරන ආකාරය දෙස තමන්ට එලෙස හැඟෙන බවයි.
"මේ රටේ වෙන ඔක්කොම තමන්ගේ පැත්තට ගන්නත්, වෙන නරක එක්සත් ජාතික පක්ෂයට බැර කරන කණ්ඩායමක් ඉන්නවා"
"හොඳ දේශපාලන මනසකින් බලන කෙනෙක්ට පේනවා යටින් වෙනයම්වූ කොටසක් ක්‍රියාත්මක වීමේ තත්වයක්" ඇමතිවරයා පැවසීය.

ඇවන්ගාඩ්

ඇවන්ගාඩ් සමාගම නිවැරදි යන ස්ථාවරයේ තමන් කිසි දිනක නොසිටි බව ප්‍රකාශ කළ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා තමන් එයට මැදිහත් වූයේ එම සිදුවීම යොදා ගෙන එක්සත් ජාතික පක්ෂයට පහර ගැසීමේ උත්සහයක් දුටු නිසා බවයි බිබිසි කොළඹ වාර්තාකරු අසාම් අමින් සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ.
"මම පැහැදිලිව කිව්වේ අවන්ගාඩ් සමාගමට මේ කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ අපේ ආණ්ඩුව නෙවෙයි, නමුත් මම කිව්වේ පසුගිය ආණ්ඩුව කාලයේ ගහපු ගිවිසුම් එක්ක එතුමන්ලාට තාම තියෙනවා නීතිමය ආරක්ෂාවක්, රජයේ රක්නා ලංකා සමාගමට තමයි අවි සම්බන්ධයෙන් වගකීම තිබ්බේ, මේ නැතිවීම ගැන කතා කලේ අවි සම්බන්ධයෙන්. ඉතින් මම පැහැදිලි කලේ විජේදාස රාජපක්ෂ සහ තිලක් මාරපන මතු කළ නීති තර්කය හරියි කියලා, මම කිසිවිටක කිව්වේ නැහැ ඇවන් ගාඩ් සමාගම හරියි කියලා" ඔහු පවසයි.

සාක්ෂි

අවන්ගාඩ් සමාගමේ මුදල් ලබාගෙන ඇති බවට එල්ල වන චෝදනා ගැන විමසීමේ දී හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා එම චෝදනව ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ තමන් ඇවන් ගාඩ් සමාගම සමග දුරකතනයෙන් හෝ කිසිදු සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් අමාත්‍යධුරයෙන් ඉවත් වීමට තමන් සුදානම් බවයි.
"ඩිජිටල් ඇමතිවරයා හැටියට කියන්නේ මේක තාක්ෂණ යුගයක්, ඡායරුපයක් හරි, එහෙම නැත්නම් මගේ දුරකථන ලිස්ට් එක අරන් හරි මම ඔවුන් හා සම්බන්ධයක් පැවැත්වූ බවට චෝදනා කලොත් මම ඉල්ලා අස්වීමට සුදානම්" ඇමතිවරයා ප්‍රකාශ කරයි.
අවන්ගාඩ් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් තීරණයට එකග වීම කැබිනට් මණ්ඩලයෙ වගකීම බව ප්‍රකාශ කල අමාත්‍යවරයා නමුත් එතැනින් එහාට ගොස් විවිධ පුද්ගලයන්ට චෝදනා කිරීම නුසුදුසු බවයි පැවසුවේ.

'අගමැති හීනයක්'

"ජනාධිපතිට හා අගමැතිට වඩා වෙන අයට බලයක් නැහැ, එහෙම කාට හරි බලයක් තියෙනවා නම් ඒක හීනෙන් වෙන්න ඇති, එයාට අගමැති හීනයක් ඇති"
මෙලෙස චෝදනා කරන්නේ රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නට දැයි විමසු විට අමාත්‍යවරයා පැවසුවේ "තොප්පිය හරි නම් ඕන කෙනෙක් දාගන්න" යනුවෙනි.
නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයාත් "යහපාලනයේ කැලිත් නැහැ" යනුවෙන් ආණ්ඩුව විවේචනය කිරීමද බරපතළ ප්‍රශ්නයක් බව ප්‍රකාශ කල හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ සියල්ල අතර සම්බන්ධයක් ඇති බවයි ප්‍රකාශ කලේ.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් තිබේද යන්න විමසු විට අමාත්‍යවරයා පැවසුවේ තමන්ට එවන් දෙයක් දැනෙන නිසා බවයි.
"මට එහෙම හැඟීමක් තියෙනවා, මට ඒක දැන් වැඩිපුරම තේරුම් ගිහිල්ල තියෙනවා, ඒත් තාම ජනාධිපතිවරයා ගැන විශ්වාසයක් තියෙනවා" ඇමතිවරයා පැවසීය.
මේ පිළිබඳව විමසීම පිණිස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇමතූ අවස්ථාවේ තමන් කාර්ය බහුල බව ඔහු කියා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශක ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා ඇමතීමට සංදේශය දැරූ උත්සාහයත් සාර්ථක වුයේ නැත.

No comments: