ස්ව කැමැත්තෙන් දිවියට සමුදුන් බෙල්ජියමේ පළමු දරුවා - SANDHA HIRU NEWS

Breaking

Saturday, September 24, 2016

ස්ව කැමැත්තෙන් දිවියට සමුදුන් බෙල්ජියමේ පළමු දරුවා

ස්ව කැමැත්තෙන් ජීවිතක්ෂයට පත්වීම සඳහා නීත්‍යනුකූලව අවසර ලබා දීමෙන් පසු බෙල්ජියමේ රෝගි දරුවෙකු පළමුවරට වෛද්‍යවරයාගේ ද සහය ඇතිව සිය ජීවිතයට සමු දී තිබේ.
බෙල්ජියමේ මාරාන්තික තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන්ට ස්ව කැමැත්තෙන් මරණය වැළඳ ගැනීම සඳහා අවසර ඇතත් 2014 වසර වන තෙක් රෝගී දරුවන්ට ඒ සඳහා අවසර හිමි නොවීය.
2014 වසරේදී දරුවන් සඳහා තිබූ එම තහංචිය ඉවත් කිරීමෙන් අනතුරුව පසුගිය දා පළමු වරට අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ දරුවෙකු ස්ව කැමැත්තෙන් මරණයට පත් වූ බව බෙල්ජියානු ෆෙඩරල් යූතනේසියා කොමිසම නිවේදනය කර තිබේ.
දරාගත නොහැකි තත්ත්වයේ ශාරීරික වේදනාවකින් පෙළෙමින් සිටි ෆ්ලෙමිෂ් පළාතේ දරුවකුට මෙලෙස මරණයට පත්ව ඇති අතර බලධාරීන් දරුවා සම්බන්ධ වැඩිදුර තොරතුරු හෙළි කර නොමැත.
මේ අනුව ඕනෑ ම වයසක පසුවන මාරාන්තික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයෙකුට ස්ව කැමැත්තෙන් මරණය වැළඳ ගැනීම සඳහා අවසර ඇති එක ම රට වන්නේ ද බෙල්ජියමයි.
බෙල්ජියම් ෆෙඩරල් පාලන හා අගැයුම් කමිටුවේ ප්‍රධානියා පැවසුවේ, තවත් දරුවන් කිහිප දෙනෙකු ස්ව කැමැත්තෙන් මරණය ළඟා කර දෙන ලෙස ඉල්ලීම් කර ඇති බව ය.
කෙසේ වෙතත් බෙල්ජියමේ රෝගියෙකුට ස්ව කැමැත්තෙන් හෝ මරණය ළඟා කර ගැනීම එතම් පහසු නොවන අතර ඒ සඳහා අවසර ලබා ගැනීමට අදියර කිහිපක් පසු කළ යුතු ය.
ස්ව කැමැත්තෙන් මරණය සඳහා සූදානම් වන දරුවෙකු මාරාන්තික රෝගයේ අවසන් අදියරේ පසු විය යුතු අතර ඔහුට හෝ ඇයට ජීවිතය සහ මරණය පිළිබඳ තාර්කික අවබෝධයක් තිබිය යුතු ය.
එමෙන් ම තමාට මරණය දෙන ලෙස රෝගියාගෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් ද ඉදිරිපත් වී තිබිය යුතු ය.
මරණය ලබා දීම සඳහා දරුවාගේ දෙමව්පියන්ගේ අවසරය තිබිය යුතු අතර රෝගියා දැඩි පීඩාවකින් පසුවන බවට මනෝ වෛද්‍යවරයෙකු අතුළු තවත් වෛද්‍යවරයෙකු අනුමත කළ යුතු ය.
කෙසේ වෙතත් දරුවන්ට ස්ව කැමැත්තෙන් මරණය ළඟා කර දීම සඳහා වන මෙම නීතියට ඇතැම් ළමා රෝග පිළිබඳ විශේෂඥවරුන්ගේ සහ පූජ්‍ය පක්ෂයේ විරෝධය එල්ල වී තිබේ.
කෙසේ වෙතත් 2014 වසරේ මරණය සඳහා වන අයිතිය පිළිබඳ පනත සංශෝධනයට ලක් වූ අතර ඒ අනුව බාලවයස්කරුවන් සඳහා ද සුඛ මරණය සඳහා අවස්ථාව උදා විය.
ඕලන්දය ද එවැනි රෝගීන්ට ස්ව කැමැත්තෙන් මරණය සඳහා අවසර ඇති නමුත් අවුරුදු 12ට අඩු ළමුන්ට ඒ සඳහා අවසර නොමැත.

No comments: