- SANDHA HIRU NEWS

Breaking

Monday, April 25, 2016


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය අපේ‍්‍රල් 20 වැනිදා අත්අඩංගුවට ගැනුණු නාරාහේන්පිට අපරාධ විමර්ශන අංශයේ හිටපු පොලිස් ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් එළිදරව් කොට ඇතැයි වාර්තා වෙයි.

පසුගිය කාලයේදී ඔහු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් තාජුඞීන් ඝාතනය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කොට තිබුණි.

නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණය අසලදී වසීම් තාජුඞීන්ගේ දැවී ගිය සිරුර හමුවී සුළු වේලාවක් තුළ එය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් හැටියට මේ පොලිස් නිලධාරියා විසින් සිය තොරතුරු සටහන් පොතේ සටහන් කර තිබුණි. කිසිදු වැඩිදුර පරීක්ෂණයක් නොකර සිදුවීම වාර්තා වී සුළු වේලාවක් තුළ එය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවට සටහන් තැබුවේ කෙසේ දැයි ඔහුගෙන් ප‍්‍රශ්න කළ විට ඔහු කියා ඇත්තේ, එය රිය අනතුරක් ලෙස සටහන් කරන්නට උපදෙස් දුන්නේ එවකට සිටි නියෝජ්‍ය පොලිස්පති වරයකු බවයි.

පොලිස් නිලධාරියෙකු ලෙස තමාගේ පළපුරුද් දෙන් එය රිය අනතුරක් නොව, ඝාතනයක් බව වහාම තමා තේරුම්ගත් නමුත් නියෝජ්‍ය පොලිස්පතිවරයා එලෙස සටහන් කරන්නට යැයි උපදෙස් දුන් බවද සීඅයිඞීයට ඔහු කළ ප‍්‍රකාශවලදී හෙළිදරව් කොට තිබේ.

සිදුවීම වූ ස්ථානයට පැමිණි රගර් ක‍්‍රීඩකයාගේ පියාටද මෙය රිය අනතුරකින් සිදුවු මරණයක් බව එම නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසූ බව පොලිස් ස්ථානාධිපතිවරයා ප‍්‍රශ්න කිරීම්වලදී ප‍්‍රකාශ කොට තිබේ.

පසුගිය 20 වැනිදා නාරාහේන්පිට පොලිස් ්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනෙන්නේ මේ ප‍්‍රකාශ ඔස්සේ ඉදිරිපත් වූ කරුණු තහවුරු කරගැනීමෙන් පසුවය. දැනට ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ වැරදි කරුණු සටහන් කිරීම මගින් කරුණු සඟවා වසීම් තාජුඞීන්ගේ ඝාතනය හදිසි අනතුරක් බවට වෙනස් කිරීමය.

අපේ‍්‍රල් 21 වැනිදා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු සුමිත් චම්පික පෙරේරා මැයි 05 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයට පත්කරන ලදි.

රිමාන්ඞ් භාරයට පත් එම පොලිස් නිලධාරියාගේ ප‍්‍රකාශ මත පදනම්ව ඉදිරි දින කිහිපයේදී ඔහු විසින් හෙළිදරව් කරන ලද හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවද තවදුරටත් වාර්තා වේ.


No comments: