බැසිල් රාජපක්ෂ ත් මහා පරිමාණ වංචා විමර්ශන කොමිසම හමුවට - SANDHA HIRU NEWS

Breaking

Sunday, December 13, 2015

බැසිල් රාජපක්ෂ ත් මහා පරිමාණ වංචා විමර්ශන කොමිසම හමුවට


බැසිල් රාජපක්ෂ ත් මහා පරිමාණ වංචා විමර්ශන කොමිසම හමුවටහිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මහා පරිමාණ වංචා පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට කැඳවීමට සූදානම් වේ.
නිව්ස්ෆස්ට් කළ විමසීමකදී මහා පරිමාණ වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා මේ බව තහවුරු කළේ ය.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අරමුදල එම දෙපාර්තමේන්තුව භාරව සිටි හිටපු අමාත්‍යවරයාගේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා වැය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම කැඳවීම සිදුකරන බවත් ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව ත් ලැසිල් ද සිල්වා මහතා පැවසී ය.
බැසිල් රාජපක්ෂ මහතා‍ගේ ගුවන් ගමන් වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ අරමුදලින් රුපියල් ලක්ෂ 1556ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දී ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි වී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.
ඒ සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ගණකාධිකාරීවරයෙකුගෙන් හා ගුවන් හමු‍දාවේ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇති බව ද ඉදිරි විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව ද මහා පරිමාණ වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා නිව්ස්ෆස්ට් වෙත පැවසී ය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ පරීක්ෂණයකින් පසුව දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අයථා ලෙස පරිහරණය කළ බවට පොදු දේපළ පනත යටතේ පසුගිය අප්‍රේල් 22 වන දා බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනිණ.
පසුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
කොළඹ මහාධිකරණය හිටපු ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රු. ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප 4ක් මත පසුගිය ජුනි මස 15වනදා ඇප ලබාදුන්නේ ය.
මේ අතර දිවිනැගුම අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද අද අදහස් පළ කළේ ය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට, වැලිගත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
මේ අතර අඩු ආදායම්ලාභී පවුල් හඳුනා ගැනීමේ සමීක්ෂණයෙන් දිවයින පුරා දිවිනැගුම සංවර්ධන නිලධාරීන් ඉවත් වන බව අයිතීන් දිනා ගැනීමේ වෘත්තීය සමිති ඒකමුතුව පවසයි.
ඒහි සම කැඳවුම්කරු චාමර මද්දුමකලුගේ මහතා පැවසුවේ, දිවිනැගුම සංවර්ධන දෙපාර්තෙම්න්තුවේ සේවක අයිතීන් ඉටු නොකිරීම හේතුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගන්නා බව ය.
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සේවකයින් 25,000ක් පමණ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ද චාමර මද්දුමකලුගේ  මහතා වැඩුදුරටත් පැවසී ය.

No comments: