වඩා යහපත් හෙට දවසක් වෙනුවෙන් රන් කහවනු සොයා මැදපෙරදිග රැකියාවට යන මෙරට කාන්තාවන්ට සිදුවන හිරිහැර, අතවර සහ ජීවිත හානි රැසක් මෑත කාලයේ අවස්ථා ගණනාවකදී වාර්තා විය.
ඊයේ පාර්ලිමේන්තු විවාදයේදී ද ඔවුන් පිළිබඳව අවධානය යොමුවෙද්දී, සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් මියගිය ලාබාල යුවතියක් පිළිබඳ පුවතක් වාර්තා වුණේ අවිස්සාවේල්ල ප්‍රදේශයෙනි.
අවිස්සාවේල්ල, පුවක්පිටිය, ප්‍රගතිපුර පිහිටි මෙම නිවසේ පදිංචිව සිටි ජී. ක්‍රිෂාන්ති 1997 ජූලි මස 19 වැනිදා උපන් තැනැත්තියකි.
2012 වසරේදී ඇය ගෘහ සේවිකාවක ලෙස සෞදි අරාබියට යන විට ඇගේ වයස අවුරුදු 15කි.
මරදානේ පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක් හරහා ක්‍රිෂාන්ති විදෙස්ගතව තිබූ අතර, මවුපියන්ගේ සියලු අපේක්ෂා බොඳ කරමින්, ඇය මේ වසරේ මැයි 06 වැනිදි මිය ගියාය.
මව්පියන් පැවසුවේ සිය දියණිය ගෙල වැළලාගෙන මියගොස් ඇතැයි විදේශ රැකියා නියෝජිත ආයතනය තමන්ට දැන්වූ බව ය.
මියගිය ක්‍රිෂාන්තිගේ දේහය මෙරටට ගෙන්වීමට මාස 07කට වැඩි කාලයක් ගතවිය.
මියගියේ යැයි දැන්වු දිනට මාසයකට පමණ පෙර ක්‍රිෂාන්ති සිය නිවසට දුරකතන ඇමතුමක් දුන් බව ත්, මැයි මාසයේදි ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින්නේ යැයි ඇය සඳහන් කළ බව ත්, පියා ප්‍රකාශ කළේය.
ක්‍රිෂාන්තිගේ මවුපියන් පවසන තොරතුරු අනුව, ඇය විදේශ ගතවන අවස්ථාවේ වයස අවුරුදු 16 සම්පුර්ණ කර නොමැති බව පැහැදිලි කරුණකි.
එක්සත් ජාතීන්ගේ ළමා ප්රඥප්තියට අනුව වයස අවුරුදු 16 ට අඩු සියලු දෙනා ළමයින් ලෙස සැලකෙන අතර, යමෙකු අඩු වයසෙන් විදේශ රැකියා සඳහා යැවීම නීති විරෝධි කටයුත්තකි.
කලකට පෙර සෞදියේදි ඝාතනයට ලක් වු රිසානා දැරියට ද මේ හා සමාන ඉරණමක් අත්වූ අතර එකල දෙස් විදෙස් අවධානයද ඊට යොමුව තිබුණු.
මේ වනවිට සෞදියේ රැකියාවට ගොස් සිටින ශ්‍රී ලාංකික කාන්තාවක එරටදී ගල් ගසා මරා දැමීමට නියමිතව සිටීමද අද මේ කතිකාව තුළ කතාබහට ලක්වන තවත් සිද්ධියකි.
රට විරුවන් ලෙස ද නම්කෙරෙන අප රටේ නූගත්, දුප්පත් කාන්තාවන් මැදපෙරදිගදී මුහුණ දෙන ශෝචනීය ඉරණම ට ළඟම උදාහණය ජී.ක්‍රිෂාන්ති හැඳින්විය හැකිය.
No comments:
Post a Comment